Tuesday, July 14, 2015

බදුල්ල ප්‍රාදේශීය කාර්යාලය....

බදුල්ල ප්‍රාදේශීය කාර්යාලය

පිහිටීම:

ශ්‍රී ලංකාවේ ඌව පළාතෙහි, බදුල්ල දිස්ත්‍රික්කයෙහි, බදුල්ල ප්‍රාදේශීය කාර්යාලය පිහිටා ඇත.

පරිපාලන ප්‍රදේශය:

බදුල්ල ,මොණරාගල යන දිස්ත්‍රික්ක බදුල්ල ප්‍රාදේශීය කාර්යාලය මගින් ආවරණය කරනු ලබයි. බදුල්ල දිස්ත්‍රික්කයෙහි සමස්ත භූමි ප්‍රමාණය ව.කි.මි. 2,861කි. ප්‍රා.ලේ. කොට්ඨාස 15ක් සහ ග්‍රාම නිලධාරී වසම් 568ක් මෙම දිස්ත්‍රික්කයට අයත්ය. මොණරාගල දිස්ත්‍රික්කයේ සමස්ත භූමි ප්‍රමාණය ව.කි.මී. 7,133කි. ප්‍රා.ලේ. කොට්ඨාස 11ක් සහ ග්‍රාම නිලධාරී වසම් 319ක් මෙම දිස්ත්‍රික්කයට අයත්ය.

ජනගහන ව්‍යාප්තිය:

දිස්ත්‍රික්කය ජනගහන ව්‍යාප්තිය එකතුව
සිංහල ශ්‍රී ලාංකීය මරක්කල ශ්‍රී ලාංකීය දෙමළ ඉන්දීය දෙමළ වෙනත්
බදුල්ල 564752 38798 29542 143535 3376 779983
මොණරාගල 375691 7800 5754 7493 637 397375

ඌවේ ජනකවි.....

ඌවෙ ජනකවි

භාවනා සීල සිත යට             තිබෙන්නා
වාසනා වන්ත කල වැඩ         පෙනෙන්නා
බැඳපු කප් රුකක් සුළඟට     වැනෙන්නා
මහියංගන කෙතේ බුදුරැස්      වඩින්නා


දුමිබර බැද්දේ මඟ සිටලා මැදින්    යමු
කඩා පළු වීර කාලා වතුර              බොමු
අඬන බිලිදු හට නැවත කිරි           පොවමු
මහියංගනේ වැදලා අඬ අඞා          යමු


බදුලු යන්න මහ පාරක්           තනන්නා
වතුර බොන්න ගංගාවක්          ගලන්නා
කැවිලි කන්න කඩ වීදීය          තිබෙන්නා
සාදු සාදු මුතියංගනේ             පෙනෙන්නා


වැද්දන් සිටින්නේ සොරබොර වැව     ළගින්නේ
සොර බොර වැවට සත් දූවක් ඇත     යසින්නේ
නෙළුමි මලින් සොර බොර වැව        බබළන්නේ
වැවක් නොවෙයි මූහුදක් ලෙස         පෙනෙන්නේ

ඌව පාදක කරගත් ගී පද....

ඌව පාදක කරගත් ගී පද


බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මදක් නිවාගන්න
ඔබේ සතුටු මුහුණ අපට ටිකක් හොඳින් බලාගන්න
මහත්වරුණි බදුලු ඔයෙන් කිරි කඳුලක් අපිත් ගන්න
කාසි ඇතොත් මේ බෙලිමල් කඳුළු වතුර පොදක් බොන්න

කැලේ ගිහින් නිදිවැරුවා...
කැලේ ගිහින් නිදිවැරුවා කැපුන සඳුන් දන්ඩ දනී
ඒ සඳුනින් හිත තැවරූ සුවඳ පවා සිහින වැනී
අඳුරට දුක එකතු වෙලා...
අඳුරට දුක එකතු වෙලා නින්ද බිඳුනු පැලට වදී
අපට නැතත් බදුලු ඔයට හෙටත් උදෑසනක් වඩී

රෑන ගිරව් කටුසු කොබෙයි...
රෑන ගිරව් කටුසු කොබෙයි උරග නාග සපුනි වනේ
නුඹට වගේමයි අපටත් දුක් පීඩා විඩා දැනේ
කඳු ඉස්මත්තෙන් පාවී...
කඳු ඉස්මත්තෙන් පාවී වැගිරෙන දුන්හිඳ හීනේ
පුංචි එවුන්ටයි ලස්සන කිරු ගරුඩෙන් කවිය වුනේ

බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මදක් නිවාගන්න
ඔබේ සතුටු මුහුණ අපට ටිකක් හොඳින් බලාගන්න
මහත්වරුණි බදුලු ඔයෙන් කිරි කඳුලක් අපිත් ගන්න
කාසි ඇතොත් මේ බෙලිමල් කඳුළු වතුර පොදක් බොන්න

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පිරිස්
ගේය පද රචනය - රුචිර පරණවිතාන

ඌවේ මහ සටන.....

ලංකාවේ පෘතුගීසි සමයෙහි සිදුවූ මහ සටනක් වශයෙන් සැලැකෙන ඌවේ  සටනේදී මහා සා මරණයට පත්විය. අලගියවන්න මුකවෙටි කවියා විසින් ”කොන්ස්තන්තීනු සටන” නැමැති කාව්‍ය ලිවීමෙන් ඒ විදේශීය නායකයාගේ සටන්කමීත්වය සහ සිංහල සේනාවගේ වික‍්‍රමය යස රඟට සිත්තම් කර තිබේ. සටන් බිමේදී මරුමුවට පත් ඒ සෙන්පතියාගේ පුත‍්‍ර ජේ.ආර්. ද සා නැමැත්තා විසින් ”ලංකාවේ කැරැල්ල” නමින් ලියන ලද ලංකාවේ පෘතුගීසි සමය පිළිබඳ ඉතිහාසයෙන් තම  පියාගේ නායකත්වයෙන් සිදුවුණු ඌවේ සටන විස්තර කර තිබේ.
ඒ පොත පළවී ඇත්තේ වර්ෂ 1681 දීය. රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාව සඳහා එය කර්නල් සෙන්ට් ජෝර්ජ් මහතා විසින් මීට කලකට පෙර ඉංග‍්‍රීසියට නඟන ලදී. මෙහි දැක්වෙනුයේ එහි සඳහන් පරිදි ඌවේ මහ සටන පිළිබඳව ඉතා විසිතුරු විස්තරයක සිංහලානුවාදයයි. ‘‘කොතරම් බාධා ඇති වුවත් ඌව ආක‍්‍රමණය කිරීමට සෙන්පතියා තීරණය කළේය. දහතුන් දහසක් පමණ හේවායෝ ගමනට සැරසුනහ. ඔවුන් අතර මහලූ අය හා ළමයින්ද බොහෝ ගණනක් සිටි හෙයින් යුද්ධ කළහැකි හේවායෝ සිටියේ සිය ගණනකි. මැණික් කඩවර සිට සෙන්පතියා තම ගමන ආරම්භ කළේ 1630 අගෝස්තු 25 වෙනිදාය. ඌවේ රාජධානිය පිහිටා ඇත්තේ ලංකාවේ මධ්‍යම ප‍්‍රදේශයෙහිය.
එය කන්ද උඩරට රාජධානියට යාබදවේ. එයද කන්ද උඩරට රජුට අයත්වේ. රජුගේ වැඩිමහල් පුත‍්‍රයාට ”ඌවේ කුමාරයා” යන ගරු නාමය ලැබී තිබේ. උස් කඳු හා ගිරි දුර්ගයන් අතර පිහිටි මේ ප‍්‍රදේශයට යාම ලෙහෙසියෙන් කළ හැක්කක් නොවේ. එහි අගනුවර වන බදුල්ල කොළඹ සිට ලීග් 25 කට පමණ ඈතින් පිහිටා තිබේ. එහි යා යුත්තේ ඉතාම අසීරු මාර්ගයක් ඔස්සේය. ඉතා අමාරුවෙන් ළං විය යුතු උස් බිමක ඒ නගරය තනා තිබේ. කොන්ස්තන්තීනු සෙන්පතියා බදුල්ලට සැපත්වනතුරු අතරමගදී ගමන නතර නොකළේය. කිසිම බියකින් තොරව ඌවේ කුමාරයා එහි නතරවී සිටින බව තම ඔත්තුකාරයින්ගෙන් දැනගත් නිසා එය වැටලීම ඔහුගේ අදහස විය. එහෙත් තම වැඩ පිළිවෙල වෙනස් කළ කුමාරයා තම සේනාව කුඩා නිසා බියෙන් පැන යන බව බොරුවට අඟවා ඉතා අමාරුවෙන් ළංවිය යුතු ඈත කදුකර පෙදෙසකට පලා ගියේය.
එයින් ඔහු අදහස් කළේ කොන්ස්තන්තීනු ද සා සහ ඔහුගේ සේනාව ඈත කඳුකරයට ගෙන්වා ගැනීමය. අපේ සේනාව අගනුවර ගිනිලා එය විනාස කළේය. ඊට පසු සෙන්පතියා නගරයේ වාඩිලා නැවතුනේය. බොහෝ සේ දුක් විඳ දීර්ග ගමනක යෙදී සිටි සෙබලෝ වෙහෙසවී සිටි බැවින් වෙහෙස සංසිඳුවා ගැනීම සඳහා විවේක සුවය පැතූහ. මේ අතර කන්ද උඩ රාජධානියේ රජු සමග පණිවුඩ හුවමාරුකරගෙන මීළඟට කුමක් කළ යුතුදැයි තීරණය කර ගැනීමට හතුරාට ඉඩ සැලසුනේය. බදුලූ නගරය ඉදිරියෙහි වූ කඳු මුදුනක අපේ සේනාව කඳවුරුලා ගති. මේ අතර අවට මිටියාවතෙහි සතුරු සේනාව දක්නට විය. අපගේ සේනාව වටකර ගැනීම සඳහා එහි රැස්වූ මහා සේනාව අසූ දහසකට වැඩිවීයැයි ඇතැම්හු ප‍්‍රකාශ කළහ. අපේ සේනාවේ බොහෝ දෙනා සටන් බිමේ වැටී සිටියහ. ඉතිරිව සිටියවුන් ගෙන් වැඩි දෙනා තුවාල කාරයෝය. සෙන්පතියාට තම ඉතුරු සේනා ඛණ්ඩය රැකවලෙහි තබා ගැනීමට තැනක් නොවීය.
එය විවෘත ප‍්‍රදේශයක් වීම නිසා සෑම පැත්තෙන්ම තමා වටකරගනු ලැබූ සේනාවෙන් පැන යෑමට හෝ ආපසු යෑමට තැනක් නොමැති විය. සෙන්පතියා හැම පැත්තෙන්ම වටලා ගත් සතුරු සේනාව ඔහුට පහර දෙන්නට පටන් ගත්තේ පිස්සු බලූනක් මෙනි. රාත‍්‍රී කාලය සැපත්වූ මුත් ඔව්හු භයානක ඝෝෂා පවත්වමින් එහි රැස් කකා සිටියහ. ඇතැම් විට ඈතට ගොස් හී වරුසා වැස්සවූහ. තෝමරයන් දමා ගැසූහ. එයින් වැඩි අනතුරක් නොවූ නමුත් එය මහත් කරදරයක් විය. මෙතරම් කණගාටුදායක තත්වයකට මුහුණ පා සිටිය නමුත් සෙන්පතියා මේ සියලූ කාලය තුළ ධෛර්යමත්ව සියුම් කල්පනාවෙන් තම සේනාව මෙහෙයවීය. එදා ඔහුගේ සේනාවේ සිටි හොඳම සෙබලූන්ගේ අවසානය වූයේ මුත් ඔහු පලාපොරොත්තු සුන් කර ගත්තේ නැත. ඔහුගේ ධෛර්යය යටපත් නොවී අන්තරාවේදී එය වේගයෙන් නැගී සිටින්නාක් මෙන් විය. අන්ධකාරය පැතිරෙද්දී හෙතෙම තුවාල ලැබූවන් සනසමින් හැම සෙබලා ළඟටම ගොස් ඔවුන්ට කථා කොට තිබෙන යමක් කා බී විවේක ගන්නා මෙන් ඉල්ලා සිටියේය.මෙවිට ඇති වූයේ මේඝ ගර්ජනා සහිත ධාරාණිපාත වැස්සකි. එයින් සෙන්පතියාගේ සියලූ වෙඩි බෙහෙත් සහ ආහාර වර්ග විනාශ වී ගියේය.
පහන් වෙත්ම සෙන්පතියා කඳවුර අකුලාගෙන පෙර පරිදි ගමන ආරම්භ කළේය. සිංහල සේනාව ඔවුන් වටේ රැස්වූයේ දෙගුණ තෙගුණයෙන් වැඩිවූ භයානක ලීලාවකිනි. පළමුවෙන් අඩ කවයක ලීලාවෙන් අවට රැස්ව ක‍්‍රමයෙන් වැඩි කල් යන්නට මත්තෙන් කවයක්සේ වටේ රැස්වූහ. අපේ කුඩා පිරිස ඔවුන් මධ්‍යයෙහි තෙරපී කිසිවක් කරගත නොහැකිව අනාථව සිටියහ. අපේ පිරිස වෙඩි තැබීමට තැත් කළ මුත් වෙඩි බෙහෙත් තෙත් වී තිබුණ නිසා එයද කළ නොහැකි විය. එවිට සතුරු සේනාව ඊ ශර වර්ෂාවෙන් හා වෙඩි පහරින් අප පිරිසට පහර දුනි.
ඔවුන්ගේ දක්‍ෂතාවය ගැන අප පිරිසේ උන් අය පුදුමයට පත් වූහ. එපමණක් නොව හතුරෝ කඩුවලින්ද පහර දෙන්නට වූහ. එයට ඔවුහු විශේෂයෙන් දක්‍ෂයෝ වූහ. එහෙත් ඔවුන් අපට කිට්ටුවීමට බිය වූහ. ඉතා ළං වුවොත් කෙසේ හෝ අප සෙබලූන් විසින් ඔවුන් මරුට ගොදුරු කරන බව ඔවුහු දනිති. නිර්භීත මිනිසෙකු වශයෙන් හා පළපුරුදු සෙන්පතියෙකු වශයෙන් කළ හැකි සියල්ල ඉටු කළ සෙන්පතියා තමාගේ ඉතිරි පිරිස මහත් කළබලයෙන් සටන් කරන බව දුටුවේය. අන්තිම සටනේදී ඔහුට සහායවීමට ඉතිරිව සිටියේ සෙබලූන් දෙදෙනෙකි. සතුරන්ට උවමනා වූයේ සෙන්පතියා ජීවග‍්‍රහයෙන් අල්ලා ගැනීමටය. එසේ අල්ලා දුන් කෙනෙකුට තුටු පඬුරු දෙන බවට සතුරන්ගේ කුමාරයා කලින් දන්වා තිබුණේය. නියම ජයග‍්‍රහණය ලබා ගැනීමට එය අසහාය මාර්ගය යැයි ඔහු සිතා සිටියේය. මළ කඳන් මැද්දේ සිට ගෙන සටන් කළ වීර සෙන්පතියාට කිට්ටුවීමට බියවූ ඔව්හු අත්මාරක්ෂාව ගැනද සලකමින් ඈතින් සිට පහර දුන්හ. අන්තිමේදී තම ආරක්‍ෂාව සඳහා දෙපසෙහි සිටි සෙබලූන් දෙදෙනාද මැරී වැටෙනු දුටු සෙන්පතියා තම කඩුව අමෝරාගෙන සිංහ ලීලාවෙන් සතුරන් මැදට පැන ඔවුන් සිය ගණනක් මරා දැමුවේය. තුවාල ලැබීමෙන් පසුවද වියරුව සටන් කරමින් කෙතරම් විනාශයක් සිදු කෙළ්දැයි සඳහන් කරන සතුරෝ ඔවුන්ගෙන් හැට දෙනෙකු සෙන්පතියා විසින් මරා දමන ලද බව ප‍්‍රකාශ කළහ. මහනුවර රජුගෙන් සෙන්පතියා මැරීමට අණ ලැබිණි.
සතුරෝ හී වරුෂා හා වෙඩි වරුෂා වැස්වූහ. එක් හීයක් ඔහුගේ පපුව පසාරු කරගෙන ද තවෙකක් ඔහුගේ පිට පසාරු කරගෙනද පිටවෙත්ම සෙන්පතියා පූජකයෙකු කරේ එල්ලී දන නමාගෙන පාපොච්ඡාරනයෙන් පසු අන්තිම ශුද්ධ ජලය පානය කරත්ම වේගයෙන් ආ හීයක් දෙදෙනාගේම හිස් පසාරු කරගෙන බිම පතිත විය. බිම වැටුනු සෙන්පතියාගේ සිරුර කඩ කඩව කපන ලදී. ඔහුගේ හිස කන්ද උඩ රජු වෙත ගෙන යන ලදින් සත් කෝරලේ උස්ගසක සවි කර තැබීමට නියම කරන ලදී. එම සටනේදී මරුමුවට පත් පෘතුගීසි හේවායන්ගේ හිස් පිරිවරාගෙන සෙන්පතියාගේ හිස උස් ගසක මුදුනේ දක්නට ලැබිණි.

ඌවේ ඉපැරණි ගැමි වහර....

ඌවගැමි වහර( ඌව පළාතටම ආවේණික වූ ගැමි වහරක්‌ අතීතයේදී භාවිත වී තිබූ බවට වෙල්ලස්‌සේ ඇතැම් ගැමි කතාබස්‌ වලදී අදත් අපට දැකගත හැකි වේ.

ඌවේ ඉපැරණි ගැමි වහර
ඇනබාගන්නවා – වාඩිවෙනවා
කොක්‌කාවෙන් යනවා – කරපිටින් යනවා
මිනිපන්දමේ යනවා – දඩයමේ යනවා
හිරිම්බනවා – කෑම කනවා
කුදාගත්තා – නිදාගත්තා
නවුවනවා – දිය නාවනවා
බැදිඅඹවනවා – කැලේ සතුන් එලවනවා.
ඕගානවා – අඬනවා
කොහා යනවා – කොහේ යනවාද?
කුදාලනවා – බඳිනවා
උකාලනවා – වැටෙනවා
දීගන්නවා – ගහගන්නවා
පුණුවනවා – නිදිකරවනවා
කාවටිනවා – දබර කරනවා
පුහුටුලානවා – ප්‍රමාද වෙනවා
ලුහුටනවා – ලෙස්‌සනවා
හෙයියන් කරනවා – කරදර කරනවා
කුස්‌ කුස්‌ ගානවා – අඬමින් ඉන්නවා
උඩන් ගහනවා – නොන්ඩිගහනවා (කොරගහනවා)
රොක්‌වුණා – අමාරුවෙන් ගියා
තව්ගහනවා – බාගෙට පුළුස්‌සනවා
මෝපකරනවා – වරිච්චි බඳිනවා
බොටා – යහළුවා
මකරට හිරිම්බනවා – බඩට කනවා
බැන්නට කුඹුලන්නෙවත් නෑ-බැන්නට කතා කළේ නෑ
හත් ගහනවා – ලියනවා
ගොන් ගනවා – කෙලින් කරනවා
වල්විලංගුවෙලාගියා – කඩාකප්පල්වෙලා ගියා
තකෝනැතිවුණා – අමතක වුණා
මතගානවා – හැඳිගානවා
කෙළිපානවා – එබී බලනවා.
වෙනිගානවා – ගෙයක්‌ගානේ යනවා
හිපගෙන – උස්‌සාගෙන
හෑගා වැටුනා – හතිදාගෙන වැටුනා
හෑගතලනවා – හති අරිනවා.
පුක්‌කවෙලා – වෙරිවෙලා
බොටතලනවා – මරනවා
කැටුව වැඩුවා – පස්‌සෙන් එලෙව්වා
ගසෙන් බැහියන් – ගහෙන් බැහැපත්
කස්‌කරේ – ඉක්‌මනට
මෝල්කනා – කුණුවෙලා
බුන්නා – බිව්වා, බීවා
ලබ්බගන්නවා – කිට්‌ටුකරගන්නවා
ටොන්බ – වලිගය
සීනිගඳ – පිළීගඳ
ඕකට නැගිල ගියාවෙ – ඕනෑ තැනක ගියාවෙ
කිවුල – උල්පත
හංකෝඩවුණා – බාගෙට ඇකුලුනා
කටනැගුනා – ගියා
කම්බුස්‌සාවෙන්න – ඇස්‌රතුවෙන්න
ලබ්බලා – කිට්‌ටුකරලා
පනන්වෙනවා – යනවා
හෝටුපුරුල්ලන් ගැහිලා – හොඳටම තෙමිලා
මොටා – ලොකුඑකා
කනත්ත ඉවලා – බාගෙට කැලේ වැවිලා
හාකොයි – පුළුවනි
ගහම්මනවා – අහක දමනවා
රහුගෙඩි – මිණිගෙඩි
අකවනවා – හරස්‌කරනවා
අලිමන්තලේ – අලියන පාර
දිව්වම දිව්වා – නොනැවතී ගියා
හුළංවැස්‌ස – හිරිකඩ
ඔපරස්‌වුණා – ලීයඇදවුණා
කොළොම්බ – කුඩා බංකුව
කයද – කාගේද?
ගහම් මවුවා – වීසිකළා
අස්‌කඩය – රෙදිපටිය
කළඟ-ලෙලිහරින ලද පුවක්‌ කොළපත
පලසෙලව් – සිල්ලර
ඉඩොල්පරවෙලා – කුරුවල්වෙලා
ගිනිපූගානවා – ගිනිමොලවනවා
නිදිකලන්ගාතෙ – නිදිමතේ
මෙරිවෙනවා – එබෙනවා
මාකුරුමල් – පුවක්‌මල්
පිඩිගහනවා – ගුලිකරනවා
අටවනවා – දිගහරිනවා
ඇස්‌බැලුම්කරණවා – සොයා බලනවා
උදව ගන්න එපා – කේන්ති අවුස්‌සවන්න එපා
කකරනවා – හැඳිගානවා
රුකුල – හිල
කුඩුම්බරයා කොල්ලා
බුඩා, බුඩී – මහල්ලා, මැහැල්ලී
කැරැල්ලන්ගහනවා – පිනුම්ගහනවා
මාකඳයා – මාවවුලා
දෙගුනගතිය – පිස්‌සුව
දඹුව – ගිනිදැල්ල
ඩිම්බා – දිමියා
මට්‌ටේ – හිසබූගෑම
හපුකඳයා – සැලළිහිනියා
උකුණුගහ – දැතිගොයියාව
රොටියට දම්මා – වී බිත්තරට දැම්මා
පෝපොත – පුවක්‌ කොළය
බිරන් – වැසිවලාකුළු
මුස්‌නෙ – කුරුමානම
දරහැව්ව – ගෙදර බඩුමුට්‌ටු
මාපත – උළුවස්‌සේ උඩ පඩිය
පොලොත්ත – පොල්කටුව
අස්‌කනත්ත කෙටුවා – කුඹුරවටේ සුද්ධකළා
අතබෑ, කකුල බෑ, අතේ තුවාලයක්‌, කකුලේ තුවාලයක්‌,
ගෝහාලය – දඬුමැස්‌ස
අරේයියා, මේයියා – අර, මේ
කියලා පරාදයි – කීමෙන් ඵලක්‌ නෑ.
බණවනවා – කතාකරනවා
හෙවන්බැස්‌සා – ඉරබැස අව්ව අඩුවීම
නෑවෙයි – එහෙම නොවෙයි
එහෙවෙයි – එහෙම තමයි
වනුව – බාගෙට වැවුන කැලේ
කනත්ත – අත්හැරුන හේන (පරණ හේන)
හෙල – කන්ද
හොටිඅම්මා – මැහැලී (ආච්චී)
ඇලිවැද්දලා – හැංගිලා
කාවල්කාරයා – මුරකරුවා
ඇටතඩියවෙලා – දරදඬුවෙලා
ඔද්දිහක්‌වන්නෑ – මෙලෝ සිහියක්‌ නෑ
ගොඩ උඩ සලාවෙන් ඉන්නවා – ගෙම්බා වගේ ඉන්නවා
දඟර – කොරවීම
කුඩිත්ත, පෙත, – ටික, ටික
ගදල් – කොස්‌ කටු
ගදාලේ – රොඩු කුණු
කොකිස්‌ – කිරිඇල
පිල්ල – හබරල අත්ත
ඇහැපිලි මෙරු
ගෝටය – කූඩුව
හොබිරියා – කම්මැලියා
ඇලිබිහිරිකම – ල-ජාව (සබකෝලය)
අටිනෙ – සබකෝලය
ඇන්නැවර – අරගෙන වරෙන්
කුරු අඩිය – බත්පත තබාගෙන කන එක
බාපත – උඩතල්ල
පැපිලිය – වියන්තට්‌ටුව
පබිලියම – වියන් ඇඳ
ගොයිය – යාලුවා (මස්‌සිනා)
අකවනවා – හරවනවා
කොළ ගෙඩිය – කමත ගොඩගසන ලද ගොයම
මූලප්පල්ය – ඇතිළිය
සුමක්‌ ගත්තරේ – වැඩකරදර
පොල්කුරුප්පිය – පොල්ගෙඩියේ තැරිය
ලෙසවලා – වේගයෙන් ගිහිල්ලා
ඒක එටැයි – පුදුමයි
වරාව – පෙරැත්ත
කෝඩුවාව – ගේ අයින
ඒක එමැයි – පුදුමයි

වැලිමඩ...

පත්තිනි දේවිගේ නොහොත් වල්ලි අම්මාගේ කෝවිල පිහිටි පෙදෙස වල්ලි+මඩම් නමින් පැවත වැලිමඩ නමින් ව්‍යවහාරයට එක්‌වී ඇතැයි ද කියති. මීට අමතරව වැලි මිශ්‍රිත මඩ සහිත පසක්‌ පිහිටීම නිසා වැලිමඩ යන නම භාවිතයට එක්‌වී ඇතැයි ද තවත් මතයකි.

හපුතලේ...

හපුගස්‌වලින් ගහණ වූ ප්‍රදේශය සහ කඳුකර ප්‍රදේශය යන්න එක්‌වීමෙන් හපු+තලය පසුකාලීනව හපුතලේ බවට පත්වී ඇති බවත්, බණ්‌ඩාර නම් ග්‍රාම පාලකයකුට අයත් වෙල්යායක්‌ තිබූ ප්‍රදේශය බණ්‌ඩාරගේ කුඹුර බණ්‌ඩාරවෙල නමින් ව්‍යවහාර වී ඇති බවත් මුඛ පරම්පරාගත කතාවල දැක්‌වේ. බණ්‌ඩාර නමැති දෙවි කෙනකුගේ ප්‍රතිමාවක්‌ වෙලක්‌ (කුඹුරක්‌) සීසාද්දී මතුවීම නිසා (බණ්‌ඩා+ දෙවි+රු+කුඹුර) “දෙවිරුව” යන වචන බිඳී ගොස්‌ කුඹුර යන්නට වෙල එක්‌වී බණ්‌ඩාරවෙල යන්න ව්‍යවහාරයට එක්‌වී ඇතැයි ද තවත් මතයක්‌ පවතී.

අැටම්පිටිය.....

පර දේශික හමුදාවන්ගේ සෙබළු විනෝදයට පත්කෙරෙමින්ද, සෙබළුන්ගෙන් ලැබෙන ආහාර වේලකින් යෑපෙමින්ද, වේරගම බණ්‌ඩාර දිවිගෙවද්දී මොහු ගැන තොරතුරු සෙබළ ප්‍රධානියාට සැලවිය. වේරගම බණ්‌ඩාරගේ හැසිරීම් රටාව අධ්‍යයනය කළ සෙබළ ප්‍රධානියා ඔහුට කඩු හරඹය පුහුණු කරවන ලෙස අණ කළේය. වේරගම බණ්‌ඩාරට සටන් පුහුණුව ලබාදීමට පැමිණෙන සෙබළු දිනෙන් දින එකි නෙකා මරු තුරුලට යන්නේ තම සටනේදී ඔහු විදේශීය (පරසතුරු) හමුදා සෙබළු මරණයට පත් කරමින් පරාජය කරමිනි. මෙම බලකොටුවේ සිටි සෙබළු සියලු දෙනාම (ප්‍රධානියා හැර) වේරගම බණ්‌ඩාර අතින් මරණයට පත්වීම නිසා සෙබළුන් මරා දැමූ බිමට සටන් පිටිය යන නම ව්‍යවහාර වී කාලයත් සමග හටන්+පිටිය වීමෙන් පසුව අද වන විට එම ප්‍රදේශය අටම්පිටිය යන නාමයෙන් හඳුන්වනු ලැබේ.

දෙහිවින්න....

ඌවේ කැරැල්ල කාලයේදී දෙහිවින්න, පරණවෙල නම් දෙකින් යුත් ග්‍රාම දුරස්‌ථව පිහිටියත් බලකොටු දෙකක්‌ පිහිටි බව කියෑවේ. එහි පළමුවැන්නේ එනම් “දෙහිවින්නේ” බලකොටුවේ “පදනිතිය” යෑවූ වේරගම නමැත්තෙකුගේ ඥතියෙක්‌ වන වේරගම බණ්‌ඩාර පුදුමාකාර දිවිපෙවෙතක්‌ ගත කළ අයෙකි. සතුරන් විසින් මරා දමනු ලබතැයි යන බිය නිසා කොරෙකුගේ වෙස්‌ ගෙන සිටි මොහු යමෙකු හමු වූ විට කතානොකර අතින්, පයින් ගොලුවකු පරිද්දෙන් කතා කිරීමට සමතකු වුවද ඔහු ගැන දන්නා අයට මෙය විහිලුවක්‌ ලෙස පෙනී තිබේ.

මඩොල්සිම.....

දිගාමඩුල්ල දුටුගැමුණු+ එළාර යුද්ධයේදී ස්‌වකීය හමුදාවට ආහාර සැපයීම පිණිස එතුමන්ගේ සොයුරු (සද්ධාතිස්‌ස කුමරා) ගොවිතැන් කටයුතු කිරීම සඳහා (කුඹුරු – අස්‌වැද්දවීමට) යවන ලදී. එහිදී කුඹුරු අස්‌වැද්දවීමට තිබූ “දිගාමඩුල්ල” සීමාව වූ පෙදෙස මඩොල්ලේ සීමාව නොහොත් මඩොල්සිම විය.

වියලුව .....

වියලුව යන නම ද ඌව පළාතේ ප්‍රසිද්ධියක්‌ ගනු ලබන තවත් ප්‍රදේශයකි. “වේලු” යනු “උණගස්‌” වලට ව්‍යවහාර කරන නමකි. “වේලු” නොහොත් වියලු නොහොත් උණ ගස්‌ රාශියකින් සමන්විත ප්‍රදේශය වන අර්ථය ඇති සැටියෙන් දනවනු සඳහා වියලුව යෑයි එම පෙදෙසට ව්‍යවහාර වී තිබේ.

බිංතැන්න.....

බිංතැන්න අනිකුත් ප්‍රදේශවලට වඩා විශාලත්වයෙන් කුඩා වූ පෙදෙසකි. යක්‍ෂයන් පලවා හැරීම සඳහා හා ගෞතම බුදුරජාණන් වහන්සේ ලක්‌දිවට ප්‍රථම වරට වැඩියා වූ අවස්‌ථාවේ බිංතැන්නේ සිටි යක්‍ෂයන් පලවාහැරිය බවට බෞද්ධ සාහිත්‍යයෙහි (ලක්‌දිව) දැක්‌වේ. සමන් දෙවියන්ගේ ඉල්ලීමකට අනුව ගෞතම බුදුරජාණන් වහන්සේ කේෂධාතු මිටක්‌ පිරිනමා ඇති බවත් එම කේෂධාතු නිධන් කැර මහියංගන චෛත්‍යය ගොඩනඟා ඇති බවත් සඳහන් වේ. ඌව පළාතේ පිහිටි මහියංගන චෛත්‍යයෙහි වැඩ නිම කරගැනීමට විය පැහැදම් නොලැබී අතරමඟ එහි වැඩ නතර වී තිබූ අවස්‌ථාවක මහවැලි නදියට ගලා බසිනා ඇළක රිදී කොටයක්‌ පාවී ඇවිත් එම රිදී කොටය විකුණා ලත් මුදලින් මහියංගණ චෛත්‍යයේ වැඩ නිමවා ඇති අතර අදටත් “රිදීකොටලිය” නම් ඇළක්‌ තිබෙන බව කියෑවේ. සියඹලාවින්න, දඹාන, බෙලිගල්ල, බුළුගහදෙන, කුකුළාපොල, පදුකුඹුර, මේවත්ත, වේරපොකුණ නමැති කුඩා ගම්වල වැදි පවුල් ගණනාවක්‌ම අදටත් දැකගත හැකිය. පාරම්පරිකව එදා ඔවුන් දඩයමින් (මරාගන්නා) ලද මුව, ගෝන, වල් ඌරන්ගේ මස්‌ වේලා නගරයට ගෙනැවිත් ලබාගන්නා මුදල ඔවුන්ගේ ජීවනෝපායේ ආර්ථිකය සැකසෙන සංධිස්‌ථානය වුවත්, අද වන විට එම වැදි පවුල්වල ජනතාව ගොවිතැන සිය ජීවනෝපාය සඳහා යොදාගෙන තිබීම සතුටට කරුණකි. වඩු වැඩ, මේසන් වැඩ, වෙළෙ¹ම වැනි ස්‌වයං රැකියා සඳහා ද වැදි ජනතාවගේ නැඹුරුවක්‌ ඇති වී තිබේ.

කොස්‌ලන්ද ග්‍රාමය...

කොස්‌ලන්ද සානුවේ පිහිටි දියළුම දිය ඇල්ල ද ඌව පළාතටම ආවේණික වූ තවත් සොබා සිරියෙන් ඔපවත්වූ දිය ඇල්ලකි. ඇල්ල වැල්ලවාය මාර්ගයේ පිහිටි බඹරකන්ද දිය ඇල්ල ද සුවිශේෂී දියඇල්ලක්‌ වනුයේ එය ශ්‍රී ලංකාවේ දිය ඇළි අතර වැඩිම උසකින් හෙබි දිය ඇල්ලක්‌ නිසාය. සාරවත් කුඹුරු නොහොත් වෙල් කැබලි ලක්‍ෂයකින් පමණ සැදුම්ලත් වෙල්යායක්‌ නිසා වෙල්ලස්‌ස යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශය ද ඌව පළාතටම අයත් ප්‍රදේශයකි.

වැල්ලවාය නාමය ගොඩ නැගී ඇති අයුරු....

ඌව පළාත මුලදී බෙදා වෙන්කර තිබූ කොට්‌ඨාස හතෙන්ම සමුද්‍රයට ආසන්නව පිහිටි හෙයිනුත් මෙම කොටසේ කඳුහෙල් දුලබ හෙයිනුත් මුහුදු සුළං (වැල්ලේවායුව) නියමලෙස ස්‌පර්ශ කරන විශාල ග්‍රාමයක්‌ කාලයක්‌ ගතවත්ම වැල්ලවාය යනුවෙන් භාවිතයට පත්වී ඇතැයි ජනවහරේ පවතී. පුරාවිද්‍යා සමීක්‍ෂණ කටයුතු පිළිබඳ හසල දැනුම් සම්භාරයක්‌ ඇති බළන්ගොඩ කූරගල ශ්‍රී පාද දිවාගුහා රාජමහා විහාරාධිපති ප්‍රවීණ ලේඛක රාජකීය පණ්‌ඩිත ශාස්‌ත්‍රපති වටද්දර ඥානිස්‌සර නාහිමිපාණන් වහන්සේගේ මතයට අනුව “වැල්ලවාය” නගරය රාවණා යුගය දක්‌වා දුරාතීතයකට සබඳකම් පවත්වනු ලබන නගරයකි. ඌව පළාත මුලදී බෙදා වෙන්කර තිබූ කොට්‌ඨාස හතෙන්ම සමුද්‍රයට ආසන්නව පිහිටි හෙයිනුත් මෙම කොටසේ කඳුහෙල් දුලබ හෙයිනුත් මුහුදු සුළං (වැල්ලේවායුව) නියමලෙස ස්‌පර්ශ කරන විශාල ග්‍රාමයක්‌ කාලයක්‌ ගතවත්ම වැල්ලවාය යනුවෙන් භාවිතයට පත්වී ඇතැයි ජනවහරේ පවතී. පුරාවිද්‍යා සමීක්‍ෂණ කටයුතු පිළිබඳ හසල දැනුම් සම්භාරයක්‌ ඇති බළන්ගොඩ කූරගල ශ්‍රී පාද දිවාගුහා රාජමහා විහාරාධිපති ප්‍රවීණ ලේඛක රාජකීය පණ්‌ඩිත ශාස්‌ත්‍රපති වටද්දර ඥානිස්‌සර නාහිමිපාණන් වහන්සේගේ මතයට අනුව “වැල්ලවාය” නගරය රාවණා යුගය දක්‌වා දුරාතීතයකට සබඳකම් පවත්වනු ලබන නගරයකි.

බිබිල නාමය සෑදි ඇති අයුරු...

බිබිල – බුත්තල, මොනරාගල යන නගර ආශ්‍රිත ප්‍රදේශ දෙහි, දොඩම් වගාවට අතීතයේ සිටම ප්‍රසිද්ධියක්‌ ගනු ලබයි. එමෙන්ම මොනරාගල දිස්‌ත්‍රික්‌කය පුරාවටම බුරුත, තේක්‌ක, කළුවර, සුදු හඳුන් වැනි ඉතා වටිනා දැවවලට ප්‍රසිද්ධියක්‌ උසුලනු ලබන්නේ ද එම ප්‍රදේශයට ආවේණික භූ විෂමතාවන්ට අනුකූලවමය. ඔක්‌කම්පිටිය ගොවිජනපදය, යුදගනාව වැව, කතරගම පුදබිම, ප්‍රෙෘඪ ඓතිහාසික උරුමයක්‌ වන මාළිගාවිල, බුදුරුවගල වැනි බෞද්ධ සිද්ධස්‌ථානයන්ගෙන් ද මොනරාගල දිස්‌ත්‍රික්‌කයට දීප්තියක්‌ වැටී ඇත.

බුත්තල නාමය සෑදි ඇති අයුරු...

බුත්තල( දකුණු පළාතත්, උතුරු මැද පළාතත් සම්බන්ධ කෙරෙමින් දුටුගැමුණු යුගයේ දකුණේ සිට උතුරු මැද පළාතට වැටී තිබූ මහා මාර්ගයේ ගමන්ගත් මගීන්ට දාන ශාලාවක්‌ (බත් ශාලාවක්‌), බත් හලක්‌ ඉදිකර තිබූ ස්‌ථානය, බත්හල පසුකාලිනව බුත්තල වී ඇතැයි ජනවහරේ පවතී.

ඌවේ සැඟවුණු ඉතිහාසය....

සුවිසල් කඳුවැටි අතරින් හමා එන සිහිල් මන්ද මාරුත, කඳුවැටි සිප ගැනෙද්දී “හූ” යන හඬ ජනිතවීම නිසා “හූව” නොහොත් “ඌව” යන නම මෙම ප්‍රදේශයට ව්‍යවහාර වී ඇතැයි ජනවහරේ දැක්‌වේ. එය කවදා කෙලෙස භාවිතයට ගැනුනක්‌ ද යන්න සඳහනක්‌ නොමැත.
දැනට දශක පහමාරකට පෙර එනම් වසර 55 කටත් පෙර ඌව පළාත (i) උඩුකිඳ (ii) යටිකිඳ (iii) බුත්තල (iv) වැල්ලවාය (v) වෙල්ලස්‌ස (vi) වියළුව (vii) බිංතැන්න වශයෙන් ප්‍රාදේශීය ආදායම් පාලක කොට්‌ඨාස හතකට බෙදා තිබිණි.
“කිඳ” යනුවෙන් හැඳින්වෙන්නේ බිම් කොටසකටය. වඩාත්ම උස්‌ ස්‌ථානයක පිහිටි කොටස “උඩුකිඳ” ලෙසින් ද පහත් ස්‌ථානයක පිහිටි කොටස “යටිකිඳ” ලෙසින් ද අදටත් ව්‍යවහාර කැරේ.
පට්‌ටිපොල, ඔහිය, හපුතලේ, වැලිමඩ, ගුරුතලාව, අඹේවෙල, ඇටැම්පිටිය වැනි කඳුකරව පිහිටි නගර “උඩුකිඳ” කොට්‌ඨාසයටත්, බදුල්ල, පස්‌සර, ලුනුගල, දෙමෝදර, ඇල්ල, හාලිඇල, නාරංගල, ස්‌ප්‍රිංවැලි වැනි ප්‍රදේශයේ පහත් භූමි භාගයන්හි පිහිටි නගර “යටිකිඳ” කොටසත් අයත් වේ.
ලෝකාන්තය(- “ඔහිය” නගරය අසල පිහිටි ලෝකාන්තය නමැති ස්‌ථානය දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගේ විශේෂ අවධානයට ලක්‌වූ ස්‌ථානයකි. ක්‍රිස්‌තු භක්‌තිකයන් සෑම වසරක්‌ පාසාම “ආගමික භක්‌තියෙන් සන්තානම් මෑණියන්ගේ දේව මෙහෙය හා පෙරහැර පවත්වනු ලබන වැලිමඩ නගරයත්, ටෙනිස්‌ ක්‍රීඩකයන්ට පාරාදීසයක්‌ බඳු වූ බණ්‌ඩාරවෙල නගරයත් සතුරු උපක්‍රම වලින් මේ රට ආරක්‍ෂා කිරීම සඳහා අභ්‍යාස යුද කඳවුරු සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ විශාලතම අභ්‍යාස ආයතනයත්, පිහිටි “දියතලාව” නගරයත්, පහතරට (හම්බන්තොට) දිස්‌ත්‍රික්‌කය දැකගත හැකි හපුතලේ නගරයත්, ඓතිහාසික රාම සීතා කතා පුවතේ සීතා කුමරිය දිවුරුම්ගත් තැන “දිව්රුම්වෙල” විහාරස්‌ථානය පිහිටි දිව්රුම්වෙල ගමත් උඩුකිඳ කොටසට අයත් ශ්‍රී ලාංකිකයන්ගේ සදා මතකයේ ලැඟුම්ගෙන ඇති නගර, ගම්, හැටියට හැඳින්විය හැකිය. මෙම ප්‍රදේශවල ඇති වගාවන් අතර තේ සහ උඩරට එළවළුවලට ප්‍රමුඛස්‌ථානයක්‌ හිමි වේ.
අඩි 310 ක පමණ උසකින් යුත් මනස්‌කාන්ත “දුන්හිඳ” දිය ඇල්ලත් “මුතියංගන චෛත්‍ය රාජයාත් බදුල්ලේ පිහිටි අතර කොළඹ – බදුල්ල දුම්රිය මාර්ගයේ දුම්රිය ස්‌ථානයක්‌ යටින් සකස්‌ වූ දුම්රිය මාර්ගයක්‌ පිහිටි දෙමෝදර නගරයත් සුප්‍රසිද්ධ “දෝවේ” රජමහා විහාරස්‌ථානයත්, යතුරුපැදි ධාවන තරග පිටියත්, “සෙන්ට්‌ ඡේමිස්‌ නැග්මත්” පිහිටි “හාලිඇල” නගරයත්, නමුණුකුල පිහිටි ස්‌ප්‍රිංවැලි නගරයත්, යටිකිඳ කොටසට අයත් වැදගත් ස්‌ථාන හැටියට හැඳින්විය හැකිය. බදුල්ල, පළාතේ ප්‍රධාන අගනගරය හැටියට හැඳින්වේ.

බදුල්ල ඔරලෝසු කණුව

ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල නගර මධ්‍යයෙහි පිහිටුවා තිබෙන බදුල්ල ඔරලෝසු කණුව මෙරට යටත් විජිත සමයේ ඉදිකරන ලද පැරණිතම ඔරලෝසු කණු අතුරින් එකක් වේ. එය රජ වීදිය, බස් නැවතුම්පළ ආසන්නයට වන්නට ඉදිකොට තිබෙයි. ඔරලෝසු කණුවහි මූලික හැඩය චතුරස්‍රාකාර ස්වරූපයක් ගන්නා අතර, එහි වහලය යටත් විජිත සමයේ වාස්තු විද්‍යාත්මක ශෛලිය සිහි ගන්වයි. ඔරලෝසු කණුව ක්‍රි.ව. 1932 දී ඉදිකරන ලද්දක් බැව් එහි දැක්වෙන පුවරුවක සටහන් කොට තිබෙයි.

බදුල්ල කතරගම දේවාලය







17 වන සියවසේ මහනුවර යුගයේ රජකම් කල පළමුවන විමලධර්ම සූරිය රජ විසින් බදුල්ල නගර මධ්‍යයෙහි බදුල්ල කතරගම දේවාලය දේවාලය ඉදිකරනු ලැබූ බව පැවසෙයි.[1]රජුගේ ප්‍රාර්ථනය අනූව පෘතුග්‍රීසින් පළවා හැර එම ප්‍රාර්ථනාවට අදාලව මෙම දේවාලය ඉදි කොට තිබේ. උස් වූ කඳුවැටියක් මත ඉදි කරනු ලැබූ දෙවාලයේ නඩත්තු කටයුතු සඳහා අක්කර 5000ක පමණ ඉඩකඩම්ද, ආවතේවකරුවන්ද, ඔවුන්ගේ නඩත්තුව සඳහා නින්දගම්ද රජු විසින් එකල ලබා දුන් බව පැවසෙයි. කෙසේ නමුත් පසුව පෘතුග්‍රීසින් විසින් මෙම දෙවොල විනාශ කර දැමූ බවත් දෙවන රාජසිංහ රජ (1635 – 1687) විසින් නැවතත් එය ප්‍රථිසංස්කරණය කෙරූ බවත් අතීත මූලාශ්‍රයන්ගේ සඳහන් වේ.
දේවාලය ඉදිරිපිට ඊට මුහුණලා රජුගේ සිංහාසන කුටිය තනවා තිබේ. දේවාලය තුලින් නැගෙන පහන් එළිය ඍජුවම සිංහාසනය වෙත දිස්වීම සදහාත් දේවාලයේ පෙරහැර දැකගැනීම සදහාත් එම අයුරින් සිංහාසනය ඉදිකරනු ලැබූ බව කියැවෙයි.

බදුල්ල වෙලේකඩේ පැරණි වෙළඳපොළ

බදුල්ල වෙලේකඩේ පැරණි වෙළඳපොළ

ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ බදුල්ල මහ රෝහල අසල බදුල්ල වෙලේකඩේ පැරණි වෙළඳපොළ ගොඩනැගිල්ල ඉදිකොට තිබේ. 1818 උඩරට ගිවිසු‍‍මෙන් පසුව ඉංග්‍රීසි ආණ්ඩුව මගින් බදුල්ල නගර‍යේ සාදන ලද ‍‍විශේෂ වෙළඳ මධ්‍යස්ථානය ‍ලෙස මෙය හඳුනාගෙන ඇති අතර ලංකා‍වේ ඉදිකළ ප්‍රථම නිදහස් ‍වෙළඳ ‍‍ගොඩනැගිල්ල ‍‍ලෙසද මෙය සැල‍කේ.[1]
1889 දී ඉදිකොට ඇති[2] ‍මෙම වෙළඳපොළ, ‍‍‍වෙල්යායක් ආසන්නයේ ඉදිකොට ඇති බැවින් වෙ‍ලේක‍ඩේ පැරණි වෙළඳපොළ ලෙස ප්‍රසිද්ධ වී තිබේ. ‍‍British Architecture in Sri lanka නම් කෘතියෙහි ‍මෙම ස්ථාන‍‍ය පිළිබඳව තොරතුරු විස්තර කොට ඇත. අෂ්ටාශ්‍රාකාර හැඩය සහිත මැද මිදුලකින්, ඇතුල් වී‍‍මේ දොරටු හතරකින්, කුරුසාකාර අංගන හතරකින් සහ මුදුන් වහළයක් හා පහත වහළයක් සහිතව ‍මෙම ‍‍ගොඩනැගිල්ල නිර්මාණය ‍කොට ති‍බේ. අතීතයේ මෙම ‍‍ගොඩනැගිල්ල ලී ආරුක්කු සහිතව ඉදි කොට තිබූ බවට පැවසෙයි. වර්තමානයේදී මෙම පැරණි ‍‍‍‍‍වෙළඳපොළ ගොඩනැගිල්ල, පුරාවිද්‍යාත්මක හා වාස්තු විද්‍යාත්මක වටිනාකම සුරැ‍කෙන පරිදි පුරාවිද්‍යා ‍දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කොට තිබේ.

ඌව පලාතේ අගනගරය වන බදුල්ල.....

ඌව පලාතේ අගනගරය වන බදුල්ල ශ්‍රි ලංකා‍වේ පිහිටා ඇත. මහනුවරට ගිණිකොණ දෙසින් පිහිටා ඇති බදුල්ල සිසාරා බදුලු ඔය විහිදී පවතී. මුහුදු මට්ටමේ සිට මීටර 680ක උසින් පිහිටි මෙය තේවතු වලින්ද වටවී පවතියි. මෙම නගරය නමුනුකුල කඳු වැටියෙන් වටවී පැවතීම විශේෂ ලක්ෂණයකි. නමුණුකුල කඳු වැටියේ මුදුන මුහුදු මට්ටමේ සිට මිටර 2016ක උසින් පවතියි. බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයවාදීන්ට යටත් වීමට පෙර මෙම නගරය පාලනය කරන ලද්දේ සිංහල රජවරැන් විසින්ය.‍ පසුව ‍මෙම නගරය බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයවාදීන්ගේ පාලන මධ්‍යස්ථානයක් බවට පත් විය. බ්‍රිතාන්‍යයන් විසින් නිපදවන ලද උඩරට දුම්රිය මාර්ගය අවසන් වන්නේ මෙම නගරයෙනි. මෙහි අරමුණ වනුයේ කොළඹ ප්‍රදේශයට වැවිලි නිශ්පාදන ප්‍රවාහනය කිරීමයි.
බදුල්ල සිට කොලඹ දෙසට මධ්‍යම කඳුකර බැවුමේ සිට කිලෝමිටර් 230ක දුර ප්‍රමාණයක් පවතියි. බදුල්ලේ සිට නුවර, කොළඹ, ගාල්ල දෙසට මාර්ග කිහිපයක් පවතියි. කොළඹ සිට බදුල්ලට රත්නපුර, බලන්ගොඩ, හපුතලේ, බණ්ඩාරවෙල සහ හාලිඇල හරහා ගමන්කල හැක. මෙම ගමන සදහා පැය 5-6 පමණ ගතවෙයි. නුවර සිට බදුල්ල දෙසට දිවෙන මාර්ග දෙකක් පවතියි. එම මාර්ග දෙක වන්නේ රජමාවත හරහා හෝ නුවරඑළිය හරහායි. ගාල්ල සිට බදුල්ලට ගමන් කිරීම සදහා වඩාත් සුදුසුම මාර්ගය වන්නේ මාතර, හම්බන්තොට, වැල්ලවාය, දෙමෝදර සහ හාලිඇල හරහායි. බදුල්ල දෙසට දිවෙන සැම මාර්ගයක්ම දර්ශනීය වන අතර මනා භුගෝලීය වෙනසක්ද දැක ගත හැක. බදුල්ල සහ එහි අවට පිහිටි දෑ විදේශිකයන් සදහා මනා තෝතැන්නක් වෙයි. හෝටන්තැන්න ජාතික වනෝද්‍යානය සහ නකලස් කඳු වැටිය බදුල්ලේ සිට සැතපුම් කිහිපයක් දුරින් පිහිටා ඇත.

මුතියංගන රජ මහා විහාරය, දෝව පන්සල, බෝගොඩ පෞරාණික පන්සල සහ දාගැබ බදුලු පුරවරයට ලැබී ඇති දායාදයන්ය. මුතියංගන රජමහා විහාරය බදුලු නගරයේද, දෝව පෞරාණික පන්සල බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේද, බෝගොඩ පෞරාණික පන්සල සහ දාගැබ හාලිඇල නගරයට ආසන්නවද පිහිටා ඇත.
පෞරාණික රාවණ බෞද්ධ පන්සල ඇල්ල ප්‍රදේශයේ පිහිටා ඇති අතර මෙය රාවණ දිය ඇල්ල නැරඹීමට එන විදේශිකයන් අතර ප්‍රසිද්ධය. දුන්හිඳ ඇල්ල ද බදුල්ලේ පිහිටි ප්‍රකට දිය ඇල්ලකි.

ඌව පළාත් කොඩිය හා ඌව පළාත් පුෂ්පය

 ඌව පළාත් කොඩිය

සිංහල රජ සමයෙහි ලංකාව ප්‍රදේශ දොළසකට බෙදා පාලනය කර ඇති අතර ඒ ඒ ප්‍රදේශ වලට කොඩි දොළසක් ද නම් කර තිබී ඇත. ඒ අනුව ප්‍රියංකර බව, අහිංසක බව, ශ්‍රේෂ්ඨත්වය, රාජකීය බව ආදී ගුණයන් මතු කිරීමට හංස රෑපයකින් යුත් කොඩියක් ඌව ප්‍රදේශය සඳහා නම් කර ඇත.
 
ක්‍රී.ව. 1798-1815 කාලයෙහි උඩරට රාජධානියෙහි රජකම් කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ඌව ප්‍රදේශයට පරිත්‍යාග කරන ලද කොඩිය අදත් ජාතික කෞතුකාගාරයෙහි දක්නට ඇත. (පණ්ඩිත නාවුල්ලේ ධම්මානන්ද හිමියන්ගේ ඌව ඉතිහාසය ග්‍රන්ථය ඇසුරෙනි )
 ඌව පළාත් පුෂ්පය

ගුරැළුරාජ - Foxtail orchid
ඌව පළාත් පුෂ්පය ලෙස නම් කර ඇති ගුරැළුරාජ උද්භිත විද්‍යාත්මකව Rhynchostylis retusa ලෙස හඳුන්වන අතර Orchidaceae කුලයට හා Rhynchostylis ඝනයට අයත් වේ. මෙම ශාකය ඉංග්‍රීසි භාෂාවෙන් ‘Foxtail orchid’ හා ‘Batticaloa Orchid’ යන නම් වලින් හඳුනු ලැබේ.
 
මෙය වන සත්ව වෘක්ෂලතා ආඥා පනත යටතේ ආරක්ෂිත පැලෑටි විශේෂයක් ලෙස නම් කර ඇති Rhynchostylis ඝනයට අයත් ශ්‍රී ලංකාවේ දැකිය හැකි එකම දුර්ලබ උඩවැඩියා ශාකයකි.

බදුලු ටැම් ලිපිය

 බදුලු ටැම් ලිපිය 

ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල නගර මධ්‍යයේ පිහිටි සෙනරත් පරණවිතාන මහජන පුස්තකාල භූමි පරිශ්‍රය තුල බදුලු ටැම් ලිපිය පිහිටුවා තිබේ. එය මෙරට සෙල්ලිපි අතර සුවිශේෂ තැනක් ලබා ගන්නා පුරාවස්තුවක් සේ සැළකේ.[1] එසේම මෙරටින් මේ තාක් සොයාගෙන ඇති ටැම් ලිපි අතුරින් ඉතා කුඩාම අකුරුවලින් ලියන ලද විශාලතම ලිපිය ලෙස මේ ලිපිය පිළිගැනේ. ක්‍රි.ව. 946 සිට ක්‍රි.ව. 954 සමයේ රාජ්‍ය කල හතරවන උදය රජ විසින් මධ්‍යකාලීන සිංහල අක්ෂර භාවිතයෙන් ටැම් ලිපිය කරවා තිබේ. මෙහි වචන පේලි 203 ක් හා අකුරු 2000ක් පමණ කරවා ඇති අතර ටැම් ලිපියේ උස අඩි 8 අඟල් 5 ක් පමණ වේ. හතරවන උදය රජුගේ දෙවන රාජ වර්ෂයේ නිකිණි මස අව පක්ෂයේ පස්වන දින කරවන ලද ශිලා ලිපියකි. සොරබොර නම් ප්‍රදේශයේ හෝපිටිගම නම් වෙළඳ මධ්‍යස්ථානයේ පාලනයට අදාලව ගම් වැසියන්, වෙළඳුන් හා රාජ්‍ය නිළදාරීන් විසින් අනුගමනය කල යුතු නීති රීති හා ව්‍යවස්ථා මාලාවක් සෙල්ලිපියෙහි සඳහන් වේ. මහියංගනයෙන් සැතපුම් 3 ක් පමණ ඊසාන දිග සොරබොර වැව අසල තිබී වර්ෂ 1857දී එවක බදුල්ල උප ඒජන්තව සිටි ජෝන් බේලි මහතා විසින් සොයාගෙන බදුලු කච්චේරිය අසල සිටුවා තැබීමෙන් අනතුරුව අවසානයේ මෙම ටැම් ලිපිය වත්මන් ස්ථානයට ගෙනැවිත් තිබේ.

ඌවේ ඉතිහාසය....


ඌව පළාත ඉතා දිගු ඉතිහාසයකට උරුමකම් කියන පළාතකි. රාමායනය සහ රාවණා කතා වස්තුවලට සම්බන්ධ රාවණා ඇල්ල, රාවනා රජුගේ ඔසු උයන හෙවත් හක්ගල[2], රාවනා ගුහාව, සීතා දේවිය පතිවෘතතා මහිමය පෙන්වූ දිවුරුම්වෙල රජමහා විහාරය[3], ස්ත්‍රිපුර උමං සංකීර්ණය ආදී ප්‍රදේශ පිහිටා ඇත්තේ ඌව පළාත තුලයි. තවද රාවනා රජ තම රාජධානිය බදුල්ල [4]මූලික කරගන පැවතීයේ යැයි මතයක් පවතී.
රාවනා කාලයෙන් පසු බුදුරජානන් වහන්සේගේ ගේ පළමු ශ්‍රී ලංකා ගමනය සිදුවන්නේ මහියංගන පුදබිමට වීම විශේෂත්වයකි. මහාවංශය ආරම්භ වන්නේද මෙම සිදුවීම මුල් කරගන වීම විශේෂත්වයකි. සොලොස්මස්ථානය ලෙස සැලකෙන බුදුන්ගේ පාද ස්පර්ශය ලැබූ විහාරස්ථාන 16 න් 3ක් ම (මහියංගනය, මුතියංගනය, කතරගම) පවතින්නේ ඌව පළාත තුලයි. ශ්‍රී පාදස්ථානය ආරක්ෂා කිරීම වස් ශ්‍රී සුමන සමන් දිව්‍යරාජයා වෙනුවෙන් ඇති ප්‍රධාන සමන් දේවාල 4න් එකක් පිහිටන්නේ ඌව පළාතේ මහියංගන පුදබිමට ආසන්නවයි. ශ්‍රී ලංකාවේ ඉදිකල පලමු ස්ථූපය ඇත්තේ ඌව පළාතේ මහියංගන පුදබිම තුලයි.
ඌව පළාත තුල පිහිටි පැරණි ගොඩනැගිලි හා සිද්ධස්ථාන අතර මහියංගන පුදබිම, කතරගම පුදබිම, මුතියංගන පුදබිම, ප්‍රාදේශීය රජෙකු විසින් පාලනය කල මාලිගාවිල පුදබිම සහ රජ මාලිගාව, දුටුගැමුණු රජු සේනාව සංවිධානය කල යුධගනාව සහ එහි පැරණි දාගැබ, දෝව රජමහා විහාරය, බෝගොඩ ලී පාලම ආදිය ඌව පළාතේ අතීත උරුමය මැනවින් පසක් කර දෙයි.
1818 යනු සමස්ථ ශ්‍රී ලංකාවටම බල පෑ වෙල්ලස්ස කැරැල්ල ඌව පලාත කේන්ද්‍රකරගනිමින් දියත් වීමයි. මෙම සටනට මොනරවිල කැප්පෙටිපොළ නායකත්වය ගනු ලැබීය.


උපුටා ගැනීම - www.wikipedia.org

ඌව ගීතය....



දේශ දේශ කිතු ගසේ නැගු භූමී
දේශ දේශ අභිවන්දී භූමී
ශාක්‍ය සිංහ හිමි තෙද පෑ භූමී
උදාර හෙළ භූමී - ඌව විජය භූමී

සීත නමුණුකුල කඳුවැටි හෙවනයි
දුන්හිඳ - දියලුම ගලනා සිහලයි
වෙල්ලස්සේ ගලනා රණ ගීයයි
අභීත - රණවිරු නිජ බිම ඌවයි

මුතියංගන මියුගුන සෑකිරණයි
කන්ද කදිර හිමි දෙවි රැක වරණයි
වීර මොනරවිල එඩි පෑ දෙරණයි
සිංහ කොඩිය සහ අසිපත මෙතනයි
ඌවේ සිතියම...


බෝගොඩ ලී පාලම

බෝගොඩ ලී පාලම
 
ලී වහලයක් සහිත ශ්‍රී ලංකාවේ එකම පාලම වන මෙය නුවර යුගයේ ඉදිකරන ලද්දක් යැයි සැලකේ. වලගම්බා රජ සමයේදී ඉදිකල ලෙන් විහාරයක් සහ පැරණි බිතු සිතුවම් වලින් අලංකාර බෝගොඩ රජ මහා විහාරයට යබදව පිහිටා ඇත. ගල්ලන්ද ඔය හරහා දමන ලද විශාල ලී කඳන් තුනක් බාවිතා කරමින් පාලම නිර්මාණය කර ඇත. කිසිදු යකඩ ඇණයක් භාවිතා නොකර ඉදිකිරීම මෙහි ඇති විශේෂත්වයකි. කොළඹ-බදුල්ල මාර්ගයේ හාලිඇල මංසන්ධියෙන් හැරී ගලඋඩ මාර්ගයේ ගමන් කර ජගුල්ල මංසන්ධියෙන් හැරී කිලෝ මීටර් 3 ක් ගිය විට මෙම නිර්මාණය දැක බලා ගත හැකිය.





රොක්හිල් කාලිඅම්මාන් කෝවිල


රොක්හිල් කාලිඅම්මාන් කෝවිල
 
බදුල්ල පස්සර පාරේ මද දුරක් ගමන් කොට ස්ප්‍රීන්වැලි හන්දියෙන් හැරී එම මාවතේ කිලෝ මීටර තුනක් පමණ ගිය විට මෙම කෝවිල හමු වේ. ප්‍රදේශයේ ජනතාව අතර අතිහය ගෞරවාදර්ශයට පාත්‍ර වී ඇති මෙම කාලි අම්මාන් කෝවිල බොහෝ හාස්කම් ඇති ස්ථානයක් ලෙස ප්‍රචලිතය. මෙහි සියළුම හින්දු දෙවිවරු සඳහා පූජා කටයුතු සිදුකරනු ලබන අතර වර්ෂයේ සෑම මාසයකම අවසානයේ උත්සව පවත්වනු ලබයි. ග්‍රහ අපල රෝග පීඩා හා සියළු උපද්‍රව වලින් මිදීම සඳහා බැතිමතුන් මෙහි පැමිණ පූජා කටයුතු සිදුකිරීමට පුරුදුව ඇත.

කතරගම

ඒදා කතරගම....




ස්කන්ධ දෙවියන් වෙනුවෙන් කැපවු හින්දු හා බෞද්ධ ආගමික ලබ්ධිකයන්ගේ හා මුස්ලිම් ආගමික ලබ්ධිකයන්ගේ විශේෂ ගෞරව ආදරයට ලක් වු සිද්ධස්ථානයකි. ජූලි අගෝස්තු මාස වල පවත්වනු ලබන පෙරහැර නරඹන්නන්ගේ සිත් වශී කරනු ලබයි. භාර හාර ඔප්පු කිරීමට විශේෂත්වයක් හිමිවන ඓතිහාසික දේවාලයක් මෙහි දක්නට ලැබේ. එසේම මෙම දේවාලය පසුකර මද දුරක් ගිය විට හමුවන   කිරි වෙහෙරද වැඳ පුදා ගත හැකිය.

අද කතරගම...



බුදුන් වහන්සේගේ පාදස්පර්ශය ලැබීමෙන් ගෞරවාදරයට පත් මහියංගණ පුදබිම උන්වහන්සේගේ කේශධාතු තැන්පත් කර ඉදිකර ඇති අලංකාර දාගැබකින් යුතු පූජනීය ස්ථානයකි. සැප්තැම්බර් මාසයේ ආදිවාසීන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන පෙරහැර වැඩි ජනප්‍රියත්වයක් උසුලයි. මෙම පූජනීය ස්ථානය මහියංගණය නගරය ආසන්නයේ පිහිටා ඇත.


ඒදා මුතියංගණ දාගැබ සිතුවමක්.....

බදුල්ල නගරයේ සිට කි.මි. 0'5 ක් දුරින් බදුල්ල නැගෙනහිර වසමේ පිහිටා ඇත. මුක්තක ධාතූන් වහන්සේලා (මුතු බවට පත්වු බුදුන් වහන්සේගේ දා බිඳු) නිදන් කොට ඇති බැවින් එම නාමය භාවිත වු බව ජනප්‍රවාදයේ පවති. සොලොස්මස්ථානයන්ගෙන් එකක් වන මෙම විහාරස්ථානය මුලින්ම ආරම්භ කරනු ලැබුවේ දේවානම්පියතිස්ස රජ සමයේ බවත් පසුව දෙවන දෙටුතිස් රජු විශාල කරවන ලද බවත් ජනප්‍රවාදයේ එයි. 1979 මුතියංගන රජමහා විහාර ප්‍රදේශය පූජා නගරයක් බවට ප්‍රකාශයට පත් විය. සෑම මැයි මසකම මෙම විහාරස්ථානය මුල්කොට ගෙන වෙසක් උත්සවය අති උත්කර්ශවත් ලෙස පවත්වනු ලබයි.

අද මුතියංගණ රජ මහා විහාරය....
 




අභිමානවත් උෟව....



අතීතයේදී ශ්‍රී ලංකාව පළාත් නවයකට බෙදී ඇති අතර ඉන් ඌව පළාතට හිමි වනුයේ අද්විතීය ස්‌ථානයකි. සොබා දහමේ මනහර දායාදයන්ගෙන්ද පෞඪ ඓතිහාසික තොරතුරු සමුදායකටද උරුමකම් කියන ඌව පළාත පිළිබඳවත්, මෙහි පදිංචි ජනතාවගේ සැඟව ගිය අතීත තතු බිඳක්‌ වත්මන් සමාජයට හෙළිදරව් කිරීම සඳහාත්, ඌවේ තතු හෙලිදරව් කිරීමත්, මෙම අඩවියේ පරමාර්ථය සේ හුවා දක්‌වමි.
සුවිසල් කඳුවැටි අතරින් හමා එන සිහිල් මන්ද මාරුත, කඳුවැටි සිප ගැනෙද්දී "හූ" යන හඬ ජනිතවීම නිසා "හූව" නොහොත් "ඌව" යන නම මෙම ප්‍රදේශයට ව්‍යවහාර වී ඇතැයි ජනවහරේ දැක්‌වේ. එය කවදා කෙලෙස භාවිතයට ගැනුනක්‌ ද යන්න සඳහනක්‌ නොමැත.
දැනට දශක පහමාරකට පෙර එනම් වසර 55 කටත් පෙර ඌව පළාත (i) උඩුකිඳ (ii) යටිකිඳ (iii) බුත්තල (iv) වැල්ලවාය (v) වෙල්ලස්‌ස (vi) වියළුව (vii) බිංතැන්න වශයෙන් ප්‍රාදේශීය ආදායම් පාලක කොට්‌ඨාස හතකට බෙදා තිබිණි.
"කිඳ" යනුවෙන් හැඳින්වෙන්නේ බිම් කොටසකටය. වඩාත්ම උස්‌ ස්‌ථානයක පිහිටි කොටස "උඩුකිඳ" ලෙසින් ද පහත් ස්‌ථානයක පිහිටි කොටස "යටිකිඳ" ලෙසින් ද අදටත් ව්‍යවහාර කැරේ.
පට්‌ටිපොල, ඔහිය, හපුතලේ, වැලිමඩ, ගුරුතලාව, අඹේවෙල, ඇටැම්පිටිය වැනි කඳුකරව පිහිටි නගර "උඩුකිඳ" කොට්‌ඨාසයටත්, බදුල්ල, පස්‌සර, ලුනුගල, දෙමෝදර, ඇල්ල, හාලිඇල, නාරංගල, ස්‌ප්‍රිංවැලි වැනි ප්‍රදේශයේ පහත් භූමි භාගයන්හි පිහිටි නගර "යටිකිඳ" කොටසත් අයත් වේ.


Copy Right @ http://www.edumin.up.gov.lk